ලොව විශාලම දුම්රිය පද්ධතිවලින් එකක් වන ඉන්දියාවේ දුම්රිය ප්‍රවාහන අංශය පෞද්ගලික සමාගම්වලට විවෘත කිරීමට පියවර ගෙන ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර තෝරාගත් මාර්ගවල ඇතැම් දුම්රිය පෞද්ගලික සමාගම්වලට දීමට තීරණය කර තිබේ.
වසර 167ක් පැරැණි ඉන්දියාවේ දුම්රිය සේවය දිනකට ප්‍රවාහනය කරන මඟීන්ගේ ප්‍රමාණය මිලියන 20කි. කෙසේ නමුත් මාරාන්තික අනතුරු, දුර්වල යටිතල පහසුකම්, නූතන පහසුකම් නොමැතිකම සහ දුර්වල ආයෝජන හේතුවෙන් ඉන්දියාවේ දුම්රිය සේවය අබලන් සහ කඩාවැටුණු තත්ත්වයකට පත්ව තිබේ.
මාර්ග 109ක ගමන් කිරීම සඳහා ව්‍යාපාරවලට අවස්ථාව දෙන බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය බදාදා සඳහන් කළේය. ඉන්දියාව ඉකුත් දා එරට ගල් අඟුරු කැණීම් ක්ෂේත්‍රය ද පෞද්ගලික අංශයට විවෘත කළේය.
‘‘ඉන්දියාවේ දුම්රිය පද්ධතිය තුළ මඟී ප්‍රවාහනය සඳහා පෞද්ගලික ආයෝජනවලට අවස්ථාව දෙන පළමු අවස්ථාව මෙය’’ යැයි ද ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
‘‘නඩත්තු කටයුතු සඳහා කෙරෙන වියදම් අඩු කිරීම, නවීන තාක්ෂණය භාවිත කිරීම, රැකියා අවස්ථා වැඩි කිරීම, ආරක්ෂිත බව වැඩි කිරීම, මඟීන්ට ලෝක මට්ටමේ සංචාරක අත්දැකීමක් ලබාදීම යන අරමුණු ඇතිව මෙලෙස දුම්රිය සේවාව පෞද්ගලික ආයෝජන වෙත විවෘත කරනවා’’ යැයි ද එහි දැක්විණි.
මෙම නව ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක මුදලක් අවශ්‍ය වන අතර පෞද්ගලික සමාගම් ඒ සඳහා අදාළ මුදල් රජයට ගෙවිය යුතු ය. ලාභ බෙදී යන අයුරු සහ ඒවායේ ප්‍රතිශත ලංසු තැබීමේ ක්‍රියාවලියේදී තීරණය වනු ඇත.
දශක ගණනාවක් රාජ්‍ය ඔස්සේ පැවැති කර්මාන්ත රැසක් පෞද්ගලීකරණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවධානය යොමු වී ඇත. ඊට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඒ.එෆ්.පී.
055