ඉන්දීය එන්නත ගත් අයට යුරෝපා රටවල් 7ක් විවෘතයි


ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට තම රටවලට ඇතුළුවීමට අවසර හිමිවන බව යුරෝපා රටවල් 7 ක් නිවේදනය කර තිබේ.
ඒ අනුව කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් සඳහා ඔස්ට්‍රියාව, ජර්මනිය, ස්ලෝවේනියාව, ග්‍රීසිය, අයර්ලන්තය සහ ස්පාඤ්ඤය පැමිණීමට අවසර හිමිවෙයි.

ඊට අමතරව, ඉන්දියාව විසින් අනුමත කරනු ලැබ ඇති එන්නත් ලබාගත් අයට තම රටට පැමිණීමට බාධාවක් නොමැති බව එස්ටෝනියාව ද පවසා ඇත.

යුරෝපා සංගමයේ සාමාජිකයින් නොවන අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය ද ඉන්දීය කොවිඩ් එන්නත් ලබාගත් සංචාරකයන්ට තම රටවලට පැමිණිය හැකි බව දැනුම් දී තිබේ.

ඉන්දීය එන්නත් ලබාගත් පිරිස් සඳහා යුරෝපා සංගමයේ රටවලට පැමිණීම අනුමැතිය ලබානොදෙන බව යුරෝපා සංගමය මීට පෙර දැනුම් දී තිබුණි. එය ඉන්දියාවේ දැඩි අප්‍රසාදයටත් විරෝධයටත් හේතුවක් විය.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව කියා සිටියේ, ඔවුන් ද යුරෝපා සංගමයේ අනුමැතිය ලබා දී ඇති එන්නත් ලබාගත් අය සඳහා සිය රට විවෘත නොකරන බවය. යුරෝපා රටවල් ඔවුන් ගත් තීරණය වෙනස් කළේ ඒ අනුවය.

බර්ලීන්හිදීය (රොයිටර්)