ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්


ඉන්දුනීසියාවේ මකාසාරා නගරයේ කතෝලික දේවස්ථානයක බෝම්බයක් පුපුරා ගිය බවත් එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් නව දෙනකු තුවාල ලැබූ බව පොලිස් ප්‍රකාශක ඊ සුල්පාන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරය සිදුවූයේ ශුද්ධ වූ පාස්කු සතිය ආරම්භ කරමින් පැවැති දේව මෙහෙය ඉලක්ක කර ගනිමිනි.

ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැදුණු රාජ්‍යයක් වන අතර, මකාසාරා නගරය ඇත්තේ සුලවේසි දූපතේය.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් අයකුගේ තත්ත්වය බරපතල යැයි පොලිස් ප්‍රකාශකවරයා පැහැදිලි කර තිබේ.

බෝම්බකරුගේ සිරුරු කොටස් පරීක්ෂා කරන බවත්, ඔහු හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉන්දුනීසියානු පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්)