පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම හෙට (9) උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.
විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අදාල ඡන්ද විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, නියෝජ්‍ය කතානායක කියා සිටියේ විශ්වාසභංගය පාකිස්තාන ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය අවලංගු කරන බවය.
ඒ අනුව, විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) නියෝග කළේ විශ්වාසභංග යෝජනාවලියට අදාල ඡන්ද විමසුම වහා පවත්වන ලෙසය. ඒ අනුව, ඡන්ද විමසුම හෙට (9) පැවැත්වෙනු ඇත. විශ්වාසභංග ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ද ඉම්රාන්ට විරෝධය පළ කරමින් විපක්ෂයට සහාය දැක්වීය. ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ විපක්ෂයේ විශ්වාසභංගයේදී තමන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබා දෙන බවය.
ඊට අමතරව, අග්‍රාමාත්‍ය ඉම්රාන් පිහිටවූ සභාග රජයට හවුල් ප්‍රධාන පක්ෂ දෙකක් ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් ඉවත් විය. ඒ අනුව, මේ වනවිට ඉම්රාන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති අතර විශ්වාසභංගයෙන් ඔහු පරාජය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)