ඉරාකයේ බැග්බෑඩ් හි පැවති විරෝධතාවයකදී දෙදෙනෙක් මරුට


ඉරාකයේ මධ්‍යම බැග්බෑඩ් හි විරෝධතාකරුවන් හා ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් පෙළපාළිකරුවන් දෙදෙනකු මියගොස් 26 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

ඉරාකයේ මේ දිනවල සෙන්ටිග්‍රේඩ් අංශක 50 ට වඩා අධික උෂ්ණත්වයක් පවතින අතර විදුලි බලය කප්පාදු කිරීමට එරෙහිව විරෝධතාව පැවැත්විණි.

විරෝධතාකරුවෝ තාහීර් සිට අසල පිහිටි ටරායාන් චතුරස්‍රය දක්වා ගමන් කළෝය.

ආරක්ෂක හමුදා පා ගමන පාලනය කිරීමට උත්සාහ කළ අතර කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කළහ.

ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන්නේ විරෝධතාකරුවන් ගල් හා පෙට්‍රල් බෝම්බ වීසි කළ බවයි.

විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා සජීවී පතරොම් දැමූ තුවක්කු භාවිතා කර ඇතැයි ඉරාකයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව බලධාරීහු පවසති.

ඉරාකයේ පසුගිය වසරේ ඇතිවූ විරෝධතා හේතුවෙන් 500කට අධික පිරිසක් මියගියහ. මාස ගණනාවක් තිස්සේ පැවති රාජ්‍ය විරෝධී විරෝධතා අතර තුර අගමැති අදෙල් අබ්දුල් මජීඩ්ට ඉල්ලා අස්වීමට ද සිදුවිය.

මෑත සතිවලදී ස්ථාන කිහිපයක නැවතත් උද්ඝෝෂණ ආරම්භ වී ඇතැයි ඉරාක මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)