ඉරානයේ වෛද්‍ය සායනයක පිපිරීමකින් 19 ක් මරුට


ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි උතුරු දිග වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් 06 දෙනකු තුවාල ලබා ඇත.

පිපිරීමත් සමග ගින්නක් හටගත් බවත් පසුව එය සම්පූර්ණයෙන්ම නිවාදැමීමට කටයුතු කළ බවත් එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ටෙහෙරානයේ නියෝජ්‍ය ආණ්ඩුකාර හමීඩ් රේසා පවසන්නේ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි.

සායනයේ සුළු සැත්කම් සහ මූලික වෛද්‍යාධාර ලබා දීම සිදුකරන අතර පිපිරීම සිදුවන අවස්ථාවේ සේවකයින් 25දෙනකු පමණ සේවය කරමින් සිටි බව පැවසේ.

පසුගිය සතියේ ටෙහෙරාන් ආසන්නයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීම ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබිණි. එහිදී මරණ හෝ තුවාල කිසිවක් වාර්තා නොවීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)