කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජිවීව විකාශය කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තීරණය කර ඇතැයි වතිකානය නිවේදනය කළේය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 95 කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර කොරෝනා මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගොස් ඇත.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදු ව ඇති යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියේ රෝම නගරයට සීමා වී තිබෙන වතිකාන නගරය ලොව කුඩාම රාජ්‍ය ලෙස සැලකේ. නගර රාජ්‍යයක් වන වතිකානයෙන් ඉකුත් දා පළමු කොරෝනා ආසාදිතයා ද වාර්තා විය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ පොදු ස්ථාන සියල්ල වසා දැමීමට ඉතාලි බලධාරිහු අද (08) පියවර ගත්හ.
ඒත් සමඟම සියවස් ගණනාවක් පැරැණි සම්ප්‍රදාය කඩකරමින් සතිපතා දේව මෙහෙය විඩියෝ තාක්ෂණය භාවිත කරමින් සජීවීව විකාශය කිරීමට පාප්තුමෝ තීරණය කර ඇත.
සෑම ඉරිදාවකම පාප්තුමාගේ සහභාගීත්වයෙන් ශාන්ත පීතර චතුරශ්‍රයේදී දේව මෙහෙය පැවැත්වෙන අතර ඊට දහස් ගණනක් සහභාගී වෙති.
‘‘දේව මෙහෙය ‘වතිකාන් නිව්ස්’ ඔස්සේ සජිවීව විකාශය කරනවා. ඒ වගේම ශාන්ත පීතර චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ඩිජිටල් තිර ඔස්සේ ද එය විකාශය කරනවා’’ යැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් පාප්තුමෝ සතියකට ආසන්න කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියහ. සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් පාප්තුමාට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඉතාලියේ පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා ඉකුත් දා වාර්තා කළේය.
83 හැවිරිදි වියේ පසුවන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමානු කතෝලික ප්‍රජාවගේ නායකයා වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කරන ලදි.
මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ.
රටවල් 95කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වයිරසය මේ වනවිට ලතින් ඇමෙරිකාවටත් ව්‍යාප්ත වී තිබේ. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය නිසා 3,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර ආසාදිතයන්ගේ ගණන 100,000 ඉක්මවා ගොස් තිබේ. වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.
චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.
පාසල්, කෞතුකාගාර, සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා ආදී ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලම අප්‍රේල් 3 වැනිදා දක්වා වසා දැමීමට ඉතාලි බලධාරීහු අද (8) පියවර ගත්හ. මේ හේතුවෙන් උතුරු ඉතාලියේ නගර රැසක කටයුතු අඩපණ වී තිබේ. එම නගරවලින් අත්‍යවශ්‍ය හේතුවකට හැර පිටත්ව යෑම හෝ එම නගරවලට පැමිණීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.
ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේගේ නියෝග මත නව පියවර ගෙන ඇති අතර අදාළ නියෝගය එරට රාජ්‍ය වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට ද පත් කර ඇත.
නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් සහ වැනීසිය ඇතුළු නගර රැසක මිලියන 15කට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති.
ඒ.එෆ්.පී.
055