ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබා දෙන්න


අඩුපාඩු සකසා ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබාදෙන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් බලශක්ති සැපයුම්කරුවන්ගෙන් ඊයේ (7) දැඩි ඉල්ලීමක් කළේ ය.

ඇමෙරිකාව තුළත් විශේෂයෙන්ම යුරෝපය තුළත් ගෑස් මිල ගණන් වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර මේ වසර තුළ දී පමණක් යුරෝපීය වෙළෙඳපොළේ ගණනය කිරීම්වලට අනුව සියයට 600කින් ගෑස් මිල ඉහළ ගොස් තිබේ.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සැපයුම පහත වැටීමත් කොවිඩ්-19 අර්බුදයෙන් පසු ආර්ථික යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉල්ලුම ඉහළ යෑමත් යන කරුණු ය.

බලශක්ති ක්ෂේත්‍රය අදාළ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට අසමත් වුවහොත් ඒ සම්බන්යෙන් ද විමසා බලන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් පැවැසීය.

“විවිධ හේතු සහ කරුණු රැසක් ගැන ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවෙනවා. ඉල්ලුම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එහෙත් ඒ ඉල්ලුමට සරිලන්න සැපයුම සිද්ධ වෙන්නේ නැහැ” යැයි ජේක් සලිවාන් පැවැසීය.

යුරෝපා සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව හෙතෙම ඒ බව කීවේ ය.

මෙම සාකච්ඡාවලදී ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.

යුරෝපයේ ප්‍රධාන ස්වභාවික ගෑස් සැපයුම්කරුවා වන්නේ රුසියාව යි. රුසියාවේ බලශක්ති දැවැන්තයකු ලෙස සැලකෙන ගෑස්ප්‍රොම් සමාගම යුරෝපයට ස්වභාවික ගෑස් සපයයි.

මෙම සමාගම දැන් ඇති වී තිබෙන අර්බුදයේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන ගෑස් මිල ගණන් අඩු කිරීමට මෙම සමාගමට හැකි නමුත් ඔවුන් ඒ දේවල් නොකරන බවට ද චෝදනා එල්ල වී තිබේ.

(රොයිටර්)