ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි


ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද අළුයම සොයාගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිසිය පවසයි.

මරණයට හේතුව නිල වශයෙන් හෙළිදරව් වී නොමැති අතර ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙවත් මාධ්‍ය වාර්තා පවසන්නේ මූලික නිරීක්ෂණ අනුව තානාපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස පෙනී යන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් යුවාල් රොටෙම් මහතා චීනයේ නියෝජ්‍ය තානාපතිවරයාට සිය ශෝකය පළකර ඇති අතර  චීන තානාපති කාර්යාලයට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

මීට පෙර යුක්රේනය සඳහා චීන තානාපතිවරයා ලෙස කටයුතු කළ ඩු වෙයි මහතා පසුගිය පෙබරවාරි මාසයේ ඊශ්‍රායලයට පැමිණ තිබුණි.

ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඊශ්‍රායලයේ නොසිටි බව ද වාර්තා වේ.

ඊශ්‍රායලය චීනය සමඟ යහපත් තානාපති සම්බන්ධතා පවත්වාගෙන යනු ලබන රටකි.

ඊශ්‍රායලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ අදහස් චීන තානාපතිවරයා විසින් හෙළා දැකීමෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවී තිබේ.
 

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සිදුවන චීන ආයෝජන හෙළා දුටු අතර කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු චීනය සඟවන බවට ද චෝදනා කළේය.

-226-

(අල්ජසීරා ඇසුරෙනි)