යළිත් වරක් මහ මැතිවරණයක් පැවැත්වීමට ඊශ්‍රායලයට සිදුවී ඇත. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ සන්ධාන රජය බිඳ වැටී ඇති බැවිනි.
මහ මැතිවරණය ඔක්තෝබර් මාසයේ පැවැත්වෙනු ඇති බව ඊශ්‍රායල මැතිවරණ කොමිසම නිවේදනය කළේය. සිවු වසරක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැත්වෙන පස් වැනි මහ මැතිවරණය මෙයයි.
නෆ්තාලි බෙනට්, සන්ධාන රජයක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ යාර් ලාපිඩ් සහ ඔහුගේ වෙෂ් අටිඩ් පක්ෂය සමඟ එකඟත්වයක් ඇති කර ගනිමිනි. පළමුවෙන් තමන් අගමැති ධුරය හෙබවීමටත් පසුව යාර් ලාපිඩ් ට අගමැති ධුරය පිරිනැමීමටත් නෆ්තාලි බෙනට් එකඟ වී සිටියේය.
ඒ අනුව, ලබන ඔක්තෝබර් මාසයේ මහ මැතිවරණය පැවැත්වෙනතුරු අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇත්තේ නෆ්තාලි බෙනට් නොව, යාර් ලාපිඩ් ය. 50 හැවිරිදි නෆ්තාලි බෙනට් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ 58 හැවිරිදි යාර් ලාපිඩ් ය.
නෆ්තාලි බෙනට් සහ යාර් ලාපිඩ් පවසා ඇත්තේ ඉදිරියේදී පාර්ලිමේන්තුව විසුරුවා, මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය. මැතිවරණය පැවැත්වෙන තුරු යාර් ලාපිඩ් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බව ද පැවැසෙයි.
නෆ්තාලි බෙනට් සහ යාර් ලාපිඩ් සන්ධාන රජයක් පිහිටුවූයේ 2021 ජූනි මාසයේය. ඒ, වසර 12 ක් තිස්සේ බලයේ සිටි බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය බිඳ දමමිනි.
නෆ්තාලි බෙනට් සහ යාර් ලාපිඩ් සන්ධාන රජයක් පිහිටවූයේ දක්ෂිණාංශික මතධාරී දේශපාලන පක්ෂ සහ අරාබි දේශපාලන පක්ෂ හවුල් කර ගනිමිනි. ආරම්භයේ පටන් මෙම පක්ෂ සමඟ මත ගැටුම් පැවැතිණි.
(රොයිටර්)