හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල රජය, හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ, ඊශ්‍රායලය ඔවුන්ගේ අතිරේක හමුදා බලඇණියට සම්බන්ධ සෙබළුන් ලක්ෂයක පිරිසක් ද සටනට යෙදවීම තීරණය ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල වැසියන් අමතමින් පවසා ඇත්තේ, දීර්ඝ කාලීන යුද්ධයකට සූදානම් වන ලෙසය.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මේ වනවිට මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 700 ඉක්මවීය. මියගිය පිරිස අතරේ ඇමෙරිකාවුවන් ඇතුළු විදේශිකයෝ ද වෙති.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් ගණන 100 ක් බව පැවැසෙයි. ඊශ්‍රායල සොල්දාදුවන්, කුඩා දරුවන් සහ කාන්තාවන් ද ප්‍රාණ ඇපයට ගත් පිරිස අතරේ සිටින බව පැවැසෙයි.
ගාසා තීරයට දිගින් දිගටම එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 400 කි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය ගන්නා තීන්දු තීරණවලදී තමන්ගේ සහාය ඔහුට හිමිවන බව ඊශ්‍රායල විපක්ෂ නායකයන් බොහෝ දෙනකු පවසා ඇත. මෙම නව අර්බුදය හමුවේ තාවකාලික එකමුතු රජයක් පිහිටුවීමට ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින්, ඊශ්‍රායලයට සහාය දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නෞකා කීපයක් ඊශ්‍රායලය අසල මධ්‍යධරණී මුහුදට සේන්දු වූ බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
ඊට අමතරව, යුදෝපාකරණ සහ පතුරම් ද ඊශ්‍රායලයට ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. සියයකට වැඩි හමාස් සටන්කාමීන් පිරිසක් ගාසා තීරය හරහා දකුණුදිග ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙන්න වූයේ පසුගිය 7 වැනිදා අලුයම කාලයේ සිටය. එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් පුරවැසියන් කීප දෙනකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
මේ නවිටත්, ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ ඊශ්‍රායල නගර කීපයක දරුණු අවි ගැටුම් පැවැති බව වාර්තා විය. ගැටුම් ඇවිලෙන්නේ කිබ්බුට්ස්, අෂකෙලෝන් සහ ස්ඩෙරෝත් යන නගරවලය.
ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතරේ යහපත් සබඳතා වර්ධනය වීම හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමට හේතුවක් වූ බව ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පැහැදිලි කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර පවතින අර්බුදයේ දී පලස්තීන මුස්ලිම් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මැදපෙරදිග රාජ්‍යය සෞදියයි. යුදෙව් ඊශ්‍රායලය සහ සෞදිය අතරේ යහපත් සබඳතා වර්ධනයක් වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඊට ඉරානයේ ද දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් නව අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්විණි. හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ හටගත් ගැටුම් වහා නැවැත්විය යුතු බව රුසියාව ද ඉල්ලීමක් කර තිබේ.
(අල් ජසීරා)