ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් ට අයත් 'ස්පේස් එක්ස්' සමාගමේ මංගල ගගන සංචාරය අරඹමින්, පෘථිවි කක්ෂයට ගිය ගගන සංචාරකයෝ සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
'ස්පේස් එක්ස්' සමාගමේ මංගල ගගන සංචාරය නම් කෙරුණේ 'ඉන්ස්පිරේෂන් 4' යනුවෙනි. ඉයොන් මස්ක් සමඟ සාකච්ඡා කර, 'ඉන්ස්පිරේෂන් 4' ගගන සංචාරයට සැලැසුම් කළේ 38 හැවිරිදි බිලියනපතියකු වන ජාරෙඩ් අයිසෙක්මන් ය. ඔහු තවත් සිවු දෙනකු ගමනට තෝරා ගෙන තිබුණි.
ගමනේ සියලු බර පැන දැරුවේ ද අයිසෙක්මන් විසිනි. 29 හැවිරිදි හෙයිලී ආසනෝව්, 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී සහ 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර් ජාරෙඩ් අයිසෙක්මන් සමඟ මෙම ගමනට එක් වූ සෙසු සංචාරකයන් තිදෙනාය.
වෘත්තීය ගගනගාමීන් නොවුණත්, ගගන සංචාරකයන් ලෙස මාස කීපයක පුහුණුවකින් පසු මොවුන් සිවුදෙනා පෘථිවි කක්ෂය බලා ගියේ පසුගිය 15 වැනිදාය. ඒ, 'ෆෝල්කන්' රොකට්ටුවකට සවි කළ මීටර් 8 ක් උස, මීටර් 4 ක් පළල 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයෙනි. රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය, පෘථිවි කක්ෂයේ ඉහළට ගොස් කක්ෂයේ රැඳුණු අතර එය 15 වැනිදා සිට කක්ෂයේ පාවෙන්න වූයේ තිබුණේ පෘථිවිය වටා කැරකෙමිනි.
ආපසු ඒමේදී, 'ඩ්‍රැගන්' කැප්සියුලයේ ඇන්ජිම පණ ගැන්වුණු අතර, එය යළි පෘථිවි වායුගෝලයට පිවිසුණි. පහළට ඇදී ආ කැප්සියුලයේ වේගය පාලන කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙනි. පෙර සැලසුම් කළ පරිදි, කැප්සියුලය ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරැණි. ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය.
(රොයිටර්)