උතුරු -දකුණු කොරියා දේශ සීමාවේ වෙඩි හුවමාරුවක්


උතුරු හා දකුණු කොරියා රටවල් දෙක අතර දේශ සීමාවේදී වෙඩි හුමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
 
දකුණු කොරියානු හමුදාව පවසන්නේ මධ්‍යම මායිම් නගරයක් වන චියර්වොන් හි ආරක්ෂක මුරපොළකට උතුරු කොරියාව දෙසින් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි.
 
තමන් එයට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවද අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ බවද දකුණු කොරියාව වැඩිදුරටත් පවසා තිබේ.
 
වෙඩිතැබීමට හේතුව පැහැදිලි නොමැති බවද දකුණු කොරියාව පවසයි.
 
උතුරේ හමුදාවන්හි විශේෂ හැසිරීමක් සම්බන්දව සළකුණක් නොමැති බවත් මෙම වෙඩි තැබීම හදිසි අනතුරක් ද නැතිනම් සිතා මතා සිදුකළ දෙයක් ද යන්න සොයා බලන බවත් දකුණේ හමුදා අංශ සඳහන් කර තිබේ.
 
කෙසේවුවද තුවාලකරුවන් පිළිබඳ වාර්තා නොමැති බව සඳහන් වේ.
 
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා දින 21කට පසු ප්‍රථම වරට ඊයේ(02) මාධ්‍ය මගින් පෙනී සිටීමෙන් අනතුරුව මෙම සිදුවීම වාර්තා වීය.
 
ලෝකයේ වඩාත්ම ශක්තිමත් දේශසීමා පවතින උතුරු දකුණු කොරියා දෙරට අතර මෙවැනි සිදුවීම් දුර්ලභ බව විවේචකයෝ පවසති.
 
අවසන් සිදුවීම 2007 වර්ෂයේ දී වාර්තා වී ඇත.
 
පසුගිය දෙවසර තුළ දෙරට අතර බොහෝ බැඳීම් ශක්තිමත් වූ අතර දකුණු කොරියානු ජනපති මූන් ජේ සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර මිලිටරි ගිවිසුමකට ද අත්සන් තැබිණි.
 
ඒ අනුව හිතා මතා වෙඩි තැබීමක් සිදුවූයේ නම් එය ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව දකුණු කොරියාව පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)