උතුරු කොරියාවේ කොරෝනා අවසන්


උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් අදියරට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

‘කොවිඩ් 19’ වයිරස වසංගතයේ ආරම්භය චීනයයි. චීනයෙන් ආරම්භ වුණු වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී චීනයේ අසල්වැසියකු වන උතුරු කොරියාව චීනය සමඟ සියලු සබඳතා නැවැත්වීය.

දකුණු කොරියානු දේශසීමාව ද වසා දැමීය. ඒ අනුව, හුදෙකලා වුණු උතුරු කොරියාවෙන් මෙම වසරේ අප්‍රේල් මාසය වනතුරු ‘කොවිඩ් 19’ ආසාදිතයකු වාර්තා වූයේ නැත.

කෙසේ නමුත් පසුගිය අප්‍රේල් මාසයේ උතුරු කොරියාව පුරා උණ රෝගයක් ඉතා වේගයෙන් පැතිරිණි. මෙය ‘කොවිඩ් 19’ බව තහවුරු වනවිටත් මිලියන ගණනක් දෙනා රෝගී වී සිටි පැවැසිණි. උතුරු කොරියාවේ මෙසේ ව්‍යාප්ත වූයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ප්‍රභේදයයි.

උතුරු කොරියානු සෞඛ්‍ය අංශ කියා සිටියේ වාර්තා වූ උණ රෝගීන් මිලියන 4.77 න් සියයට 99.98 දෙනකු පූර්ණ සුවය ලබා සිටින බවය. ‘කොරෝනා’ වසංගතය අවසන් අදියරය පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේ මේ නිසාය.

(රොයිටර්)