උප ජනපතිනී කමලා හැරිස් ආසියාවේ


ආසියානු කලාපයේ ඇමෙරිකා බලය තහවුරු කර ගැනීමේ ප්‍රධාන අරමුණින්, ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ආසියානු නිල සංචාරයක් ආරම්භ කරමින් සිංගප්පූරුව බලා පැමිණියාය. ඇමෙරිකා උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස්, ආසියානු සංචාරයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමත්, තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ මේ වනවිට ආසියානු රටවල් බොහොමයක් ඇමෙරිකාව කෙරෙහි තැබූ විශ්වාසය පළුදු වී ඇත.

පළුදු වුණු එම විශ්වාසය යළි ගොඩනගා ගැනීමේ අරමුණින්, උප ජනාධිපතිනිය සිංගප්පූරුවේ තෙදින නිල සංචාරයක නියැලෙනු ඇත. සිංගප්පූරු සංචාරයෙන් පසු ඇය වියට්නාමයට යෑමට ද නියමිතය.

උප ජනාධිපති කමලා හැරිස් ඊයේ (22) සිංගප්පූරුවට පැමිණීමෙන් පසු කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ද චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය. ඒ, සිංගප්පූරු අගමැති සහ ජනාධිපති හමුවෙමිනි. එම සාකච්ඡාවලින් අනතුරුව ඇය චැංගි නාවික හමුදා කඳවුර ගොස් යූඑස්එස් ටුල්සා නෞකාවේ සිටින ඇමරිකානු නැවියන් ඇමැතුවාය.

ඇමෙරිකන් උප ජනපතිනිය හෙට (24) දිනයේ වියට්නාමය බලා යනු ඇත. වියට්නාමයේදී ඇය එරට රජය සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ අග්නිදිග ආසියානු කලාපීය ශාඛාවක්ද  විවෘත කිරීමට ද සහභාගී වීමට නියමිතය. ඊට අමතරව, වියට්නාම සිවිල් සමාජ නියෝජිතයින් හමුවීමට කමලා හැරිස් සූදානමින් සිටී.

කොවිඩ් 19 වසංගතය පිළිබඳව අවධානය යොමු කරන අග්නිදිග ආසියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ හමුවකට ද ඇමෙරිකානු උප ජනාධිපතිවරිය සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය පවසා තිබුණි.

සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේ, උප ජනාධිපතිනිය මාධ්‍ය හමුවකට සහභාගී වූවාය. එහිදී මාධ්‍යවේදියකු 'ඇෆ්ගනිස්තානයේ අර්බුදය' ගැන අදහස් දක්වන්නැයි උප ජනාධිපතිනී කමලා හැරිස්ගෙන් විමසීමක් කළේය. 'ඇෆ්ගනිස්තානයේ කිසිම අර්බුදයක් නැහැ' ඇය සිනා සෙමින් මාධ්‍යවේදියාට පිළිතුරු දුන් අතර, ඇෆ්ගනිස්තානය ගැන කිසිවක් පැවැසුවේ නැත.

(රොයිටර්)