එපා එපා එපා බයිඩන් පුටින්ට අනතුරු අඟවයි


ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, යුක්රේන යුද්ධයේ දී රුසියාව රසායනික අවි ප්‍රහාරයකට හෝ න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුරු අනුවය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඉන්පසු රුසියන් හමුදා නැගෙනහිර යුක්රේනයේ නගර සහ පළාත් රැසක් අල්ලා ගත්තේය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්රේන රජයට සහ හමුදාවට සහාය දෙන අතර, යුක්රේන හමුදාව ශක්තිමත් වී සිටින්නේ ඇමෙරිකාවෙන් ලැබුණු අවි ආයුධ සහ මිසයිලවලිනි.

මේ වනවිට රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ලකරමින්, රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබ තිබුණු නගර සහ පළාත් කීපයක් යළි තමන් සතු කර ගැනීමට යුක්රේන හමුදාව සමත් වී සිටී. මෙය රුසියාව ලැබූ පසුබෑමකි.
ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ එම ‘පසුබෑම’ හමුවේ, රුසියාව ඔවුන් සතු රසායනික අවි හෝ න්‍යෂ්ටික අවි හෝ භාවිතයට ගනිමින් යුක්රේනයට පහර දීමක් කරනු ඇති බවය.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු ඇඟවීමක් කර ඇත්තේ මේ නිසාය. ‘මා රුසියන් ජනාපධිති පුටින්ට කියනවා. එපා. එපා. එපා. රසායනික අවි හෝ න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහර දෙන්න එපා. එසේ කළොත් මහා විනාශයක් වේවි. යුද්ධය වෙනස් මඟකට යොමු වේවි. එයින් අප කාටවත් හොඳක් වෙන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)