කතාවට යුක්රේනයෙන් දැඩි විරෝධයක්


රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නම්, යුක්රේනය සුදු කොඩි ඔසවා රුසියාව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, පාප්තුමන්ට යුක්රේනයෙන් විරෝධයක් එල්ල වී ඇත.

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කූබා එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාප්තුමන්ට දැඩි ලෙස විරෝධය පළ කර ඇත්තේ, යුක්රේනය ඔසවාගෙන සිටින්නේ එකම එක කොඩියක් බවත්, ඒ කහ සහ නිල් වර්ණවලින් යුත් යුක්රේන ජාතික ධජය බවත් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කූබා පවසා ඇත. පාප්තුමන් රුසියාවට පක්ෂව, යුක්රේනය හෑල්ලුවට ලක් කරමින් අදහස් දක්වන බවට ද යුක්රේන විදේශ අමාත්‍යවරයා චෝදනා නගා තිබේ.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් රුසියව සමඟ සාකච්ඡා පැවැත්වීමට, යුක්රේනය වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමය කළ යුතු බවත්, සුදු කොඩි අතින් දැරීමට යුක්රේනය ධෛර්යවන්ත විය යුතු බවත් පාප්තුමන් පැවැසුවේ, ස්විට්සර්ලන්ත ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

‘ඇත්තටම මම විශ්වාස කරන විදියට රුසියාවට වඩා යුක්රේනය ශක්තිමත්, යුක්රේනයේ උදවුවට බටහිර බලවතුන් ඉන්නවා. ඒකයි හේතුව. ඒත් යුක්රේනය යුක්රේන වැසියන් ගැන සිතන්න ඕනෑ. සුදු කොඩි අතින් දැරීමට ධෛර්යවන්ත විය යුතුයි. සාකච්ඡා සඳහා යොමු විය යුතුයි’ පාප්තුමා එම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වයේ මෙලෙසිනි.

(ඒ.එෆ්.පී.)