කෂෝගි ඝාතනය සෞදි කුමරුගේ අනුමැතියෙන් සිදුවී ඇතැයි ඇමරිකාව කියයි




සෞදි මාධ්‍යවේදියෙකු වූ ජමාල් කෂෝගි ඝාතනය කිරීම සඳහා සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අනුබල දුන් බව ඇමරිකාව විසින් සිදුකළ බුද්ධි අංශ විමර්ෂණයකදී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ කෂෝගි අල්ලා ගැනීම හෝ මරා දැමීමේ සැළැස්ම කුමරු අනුමත කළ බවයි.

කෙසේවුවද සෞදි අරාබිය එම වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ එය සෘණාත්මක, අසත්‍ය සහ පිළිගත නොහැකි එකක් බවයි. සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන සල්මාන් කුමරු පවසන්නේ කෂෝගි ඝාතනය සම්බන්දව තමන් කිසිදු කාර්යභාරයක් සිදු නොකළ බවයි.

සෞදි විදේශ අමාත්‍යාංශය වාර්තාව බැහැර කරමින් අවධාරණය කළේ අපරාධයට වගකිවයුත්තන් පිළිබඳව විමර්ශණයක් සිදුකර ඔවුන්ට දඩුවම් කර ඇති බවයි.

"මෙම වාර්තාව ආසාධාරන හා සාවද්‍ය නිගමන සහිතව නිකුත් කර ඇත. එය සැබවින්ම අවාසනාවකි. සෞදි රජය මෙම කුරිරු ඝාතනය සැබවින්ම හෙළා දැක ඇති අතර එවැනි ඛේදවාචකයක් නැවත කිසි දිනක සිදු නොවීමට පියවර ගෙන ඇත."

තුර්කියේ ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයට යමින් සිටියදී කෂෝගි ඝාතනය කර තිබිණ. මියයන විට 59 හැවිරිදි වියේ පසුවූ කෂෝගි මුලින් සෞදි රජයේ උපදේශකයෙකු ලෙස රාජකීය පවුලට සමීපව කටයුතු කළේය. පසුව අප්‍රසාදයට පත්වීම හේතුවෙන් 2017 වසරේදී ඇමරිකාවට පිටුවහල් කරනු ලැබීය. එහිදී ඔහු සල්මාන් කුමරු විවේචනය කරමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට තීරු ලිපියක් ලිවීය.

ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් සෞදියේ මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පිළිබඳව හිටපු ජකාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා දැඩි ස්ථාවරයක සිටිනු ඇතැයි අපේක්සා කෙරේ.

රොයිටර් පුවත් සේවය උපුටා දක්වන ආරංචි මාර්ග පවසන්නේ සෞදිය සමග ආයුධ ගනුදෙනු අවලංගු කිරීම වැනි කාරණා සම්බන්දව සලකා බැලීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති බවයි.