ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයේදී ආරක්ෂක රථ පෙළකට පසුගිය වසරේදී එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයන් ඇතුළු 19 දෙනකුට චෝදනා එල්ල වී තිබේ.
ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අතර ඉන් අනතුරුව මෙලෙස චෝදනා ගොනු කර තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි 14 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය පොලිසියේ ආරක්ෂක භටයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම ප්‍රහාරය මුල් කරගනිමින් න්‍යෂ්ටික බලවතුන් මෙන්ම අසල්වැසියන් ද වන ඉන්දියව සහ පාකිස්තානය අතර දැවැන්ත අර්බුදයක් ද නිර්මාණය වූ අතර රටවල් දෙක ගුවනින් එකිනෙකාට ප්‍රහාර ද එල්ල කර ගත්තේ ය.
පාකිස්තානය තුළ ක්‍රියාත්මක ජායිෂ්-ඊ-මොහොමද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
චෝදනා එල්ල වී තිබෙන පාකිස්තාන ජාතිකයන් හත්දෙනාගෙන් සිවුදෙනකු තවමත් අල්ලාගෙන නැතැයි ද ඉතිරි තිදෙනා ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලදී මරුමුවට පත්ව ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒකකය සඳහන් කළේය.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කණ්ඩායම් මෙම චෝදනා පත්‍රයෙන් සවිස්තර වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙන අතර එම කණ්ඩායම් කාශ්මීරය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමටත් කාශ්මීරයේ සිටින තරුණ ප්‍රජාව ප්‍රකෝප කිරීමටත් උත්සාහ කරන බව ද පෙන්වා දී තිබේ.
චෝදනා එල්ල වී ඇති අනෙක් 12 දෙනා ඉන්දීය කාශ්මීරයේ ජීවත් වන අය වෙති. ඇතැම් අය ගැටුම් අතරවාරයේදී මියගොස් ඇති අතර ඇතැම් අය අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි අය අතුරුදන්ව ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය සඳහන් කරයි.
චෝදනා එල්ල වී ඇති එක් අයකු අවුරුදු 20 තරුණයෙකි. ඔහු කාශ්මීරයේ අගනුවර වන ශ්‍රීනගර්හි ජීවත් වන්නෙකි. හෙතෙම ඇමර්සන් වෙබ් අඩවිය හරහා ඇළුමීනියම් පවුඩර් කිලෝග්‍රෑම් 4ක් ඇණවුම් කර තිබේ. ඒවා ප්‍රහාරයට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය සඳහා භාවිත කර ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය සඳහන් කරයි.
කාශ්මීරයේ බහුතරය මුස්ලිම් ජාතිකයෝ ය. පාකිස්තානය සටන්කාමීන්ට සහයෝගය දක්වන බවත් කාශ්මීරය තුළ කැරැලි ගැසීම් සඳහා අවස්ථාව සලසන බවටත් ඉන්දියාව දීර්ඝ කාලයක සිට චෝදනා කරයි. හිමාලයානු කලාපයේ පිහිටි කාශ්මීරයට ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම හිමිකම් කියයි. කෙසේ නමුත් ඉන්දියාව කාශ්මීරයේ එක් කොටසක් ද පාකිස්තානය එහි තවත් කොටසක් ද පාලනය කරයි. ඉන්දියාව සහ පාකිස්තානය අවස්ථා තුනකදී යුද වැදී ඇති අතර ඉන් දෙකක්ම සිදුව ඇත්තේ කාශ්මීරය මුල් කරගනිමිනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතිකවාදී ආණ්ඩුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කාශ්මීරය පාලනය තවදුරටත් සියතට ගැනීම සඳහා පියවර ගත්තේ ය. ඒ අනුව ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය ආණ්ඩුව පියවර ගත්තේ ය.
කාශ්මීරය යනු ලොව වඩාත් සන්නද්ධම කලාපවලින් එකකි. දශක හතක් මුළුල්ලේ එහි ගැටුම් පවතී. ඉන්දීය ආණ්ඩුව ගත් පියවරට කාශ්මීරයේ නායකයන්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය සිය ප්‍රාන්තයේ ජනාතවට එරෙහිව ගත් තීරණයක් යැයිද ඔවුහු චෝදනා එල්ල කළහ.
රොයිටර්
(055)