කැරැලිකරුවෝ ඇලෙප්පෝ නගරය අල්ලති


සිරියාවේ, සිරියානු රජයට නතු ඇලෙප්පෝ නගරයේ පළාත් කීපයක් රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වසර ගණනක පටන්, සිරියාවේ සිවිල් යුද්ධයක් පවතින්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට එරට විපක්ෂ කණ්ඩායම් උත්සාහ ගන්නා බැවිනි. කැරැළිකරුවන් බවට පත් වී ඇත්තේ ද මෙම විපක්ෂ ක්‍රියාකාරීන්ය.

සිරියානු හමුදාව සමඟ සටන් වැදීමට එම කැරැලිකරුවන්ට ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් අවි ආයුධ හිමිවෙයි.

ඇලෙප්පෝ යනු සිරියාවේ දෙවැනි විශාලතම නගරයයි. කැරැලිකරුවන්ට විවිධ සන්නද්ධ කණ්ඩායම්වල සහාය හිමිවන අතර ඇලෙප්පෝ නගරයේ විවිධ පළාත් අත්පත් කර ගැනීමට සමත් වී ඇත්තේ තහ්රීර් අල් ෂාම් නමැති කණ්ඩායම යැයි ද පැවැසෙයි.

ඇලෙප්පෝ නගරයේ පළාත් මෙසේ කැරැලිකරුවන් අතට පත් වීම, සිරියානු රජයට එල්ල වුණු ප්‍රබල අතුල් පහරක් යැයි ද පැවැසෙයි.