කුරානයට හානි කරලා: පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා


ශුද්ධ වූ කුරානයට හානි කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්, පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත්තේ පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ ජරන්වාලා පළාතේය. කෝපයට පත් පාකිස්තාන වැසියන් චෝදනා කර ඇත්තේ, ක්‍රිස්තියානුවන් දෙදෙනකු ශුද්ධ වූ කුරානයේ පිටපතකට හානි කරමින්, ඊට අපහාස කළ බවටය.

කලහකාරී මුස්ලිම් වැසියන් සිය ගණනක් දෙනා ලජරන්වාලා පළාතේ ක්‍රිස්තියානි දේවස්ථාන 10 කට පහර දී ගිනි තැබූ බව වාර්තා වේ. ඊට අමතරව, ක්‍රිස්තියානි බැතිමතුන්ගේ නිවාස රැසකට ද පහර දී තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ, කුරානයට අපහාස කිරීම, මරණ දඬුවමට ලැබිය හැකි වරදකි.

කලහකාරී පිරිස්, ක්‍රිස්තියානි දේවස්ථානවලට පහර දී ගිනිබත් කිරීම සහ ක්‍රිස්තියානි නිවාසවලට පහර දී ගිනිබත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පළ කර තිබේ.