කේරළයේ ජල ගැලීම් 19 ක් මරුට


ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගලා පළාත් සහ නගර රැසක් මුළුමනින්ම යට වී ඇති බවත් ජල ගැලීම්වලට හසුවීමෙන් 19 දෙනකු මියගොස් ඇති බවත් පුවත් සේවා වාර්තා කරයි.

ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදුන් වූ ගණන 20 ක් යැයි ද බලධාරීහු පවසති. ජල ගැලීම්වලින් වැඩිපුර හානි සිදුවී ඇත්තේ 'කොට්ටයාම්' දිස්ත්‍රික්කයටය.

විපතට පත්වූවන්ට පිහිටවීමටත්, අනාරක්ෂිත ස්ථානවල සිටින ගම්වැසියන් ඉවත් කිරීමටත් ඉන්දීය හමුදාව කැඳවා ඇතැයි ද වාර්තා වේ. මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, සහනාධාර සැපයීම සහ විපතට පත්වූවන් මුදා ගැනීම ඒ නිසා අසීරු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

(රොයිටර්)