කොරෝනා අවතක්සේරු කරන්න එපා


'කොවිඩ් 19' කොරෝනා වයිරසය තවමත් ගෝලීය වසංගතයක් බැවින් එය කිසිසේත් අවතක්සේරු නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසින්ගෙන් ඉල්ලා සිටී.

'ඔමික්‍රෝන් විකෘතියේ ව්‍යාප්තියත් සමඟ වයිරස වසංගතයේ සැර බාල වුණා. ඒ බව අප පිළිගන්නවා. ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වුවත්, මරණ අඩු වුණා. රොහල්ගත කිරීම් අඩුවුණා. එසේ වුවත් ඕනෑම මොහොමතක තවත් විකෘති බිහිවීමේ අවදානම තිබෙනවා.' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂ මයිකල් රයන් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් පැහැදිලි කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානය ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.

මේ වනවිටත් 'ඔමික්‍රොන්' විකෘතියේ 'බී.ඒ‍.1' සහ 'බී.ඒ‍.2' උප ප්‍රභේද ද ලොව පුරා ව්‍යාප්ත වී ඇති අතර, 'බී.ඒ‍.2' උප ප්‍රභේදය 'බී.ඒ‍.2.12' සහ 'බී.ඒ‍.2.12.1' ආදී වශයෙන් තවත් ප්‍රභේදවලට බෙදී වෙන් වී ඇති අතර ඒවා ද ලොව පුරා ව්‍යාප්ත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

ඊට අමතරව,‍ 'ඔමික්‍රොන්' උප ප්‍රභේද මුසුවීමෙන් නිර්මාණය වූ 'එක්ස්.ඊ' විකෘතිය ද ලොව පුරා ව්‍යාප්තවීමට පටන්ගෙන ඇත. 'එක්ස්.ඊ' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ මහා බ්‍රිතාන්‍යයෙනි. ඉන්දියාවෙන් ද 'එක්ස්.ඊ' ආසාදිතයන් වාර්තා වෙයි.

මේ වනවිට ලොව සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 502,833,236 ක් වන අතර, මරණ වාර්තා වන්නේ 6,217,441 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 453,122,555 කි. තවමත් ලොව වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වෙන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 82,252,965 කි. සමස්ත මරණ ගණන 1,014,902 කි.

ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාව වන අතර ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 43,039,900 කි. 'කොවිඩ් 19' මරණ අතින් ඉන්දියාව පසුවන්නේ තෙවැනි ස්ථානයේය. ඉන්දියාවේ සමස්ත 'කොවිඩ් 19' මරණ ගණන 521,772 කි.

මරණ අතින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වන 'කොවිඩ් 19' මරණ ගණන 661,855 කි. ආසාදිතයන් අතින් ලොව බ්‍රසීලය ලොව තෙවැනි ස්ථානයේ පසුවෙයි. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 30,234,024 කි.

(රොයිටර්)