කොවිඩ් - 19 වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය නතර වි ඇති හෙයින් මේ වනවිට පනවා ඇති දැඩි සමාජ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇතැයි නවසීලන්ත රජය පවසයි.
මේ සම්බන්දව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය සඳහන් කළේ වයිරසය නවසීලන්තයෙන් තුරන් කර ඇති බවයි.
කෙසේවුවද මෙම ප්‍රකාශයෙන් අදහස් වන්නේ නව ආසාදන අවසන් කිරීම සම්බන්දව නොවන බවත් නව ආසාදන තවදුරටත් ඇතිවිය හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
අඟහරුවාදා (28) සිට සමහර අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එසේ වුවද සියලු සමාජ හමුවීම් වලින් වැළකී සිටිය යුතු බවත් බොහෝ ජනතාවට සෑම විටම නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.
" අපි ආර්ථිකය ලිහිල් කරනවා. නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය ලිහිල් කරන්නේ නැහැ." අග්‍රාමාත්‍යවරිය දිනපතා පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසුවාය.
නවසීලන්තයේ මේ වනවිට කොරෝනා රෝගීන් 1 500ක් පමණ වාර්තා වන අතර මරණ 19ක් සිදුවී තිබේ.
මෑත දිනවලදී වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් කොරෝනා වයිරසය තුරන් කිරීමේ ඉලක්කය සපුරා ඇති බවට විශ්වාස කරන බව නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මහතා ද පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් සුපරික්ෂාකාරීව සිටිය යුතු බවයි.
කෙසේවුවද නවසීලන්තයේ දේශසීමා තවදුරටත් වසා තැබෙනු ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)