කොරෝනා සුවවන බොහෝ දෙනාට සෞඛ්‍ය ගැටලු


‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, සුවය ලබන පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයකු දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර වෛද්‍ය පර්යේෂකයන්ගේ මූලිකත්වයෙනි. ඇමෙරිකාවේ පමණක් නොව, යුරෝපා සහ ආසියානු රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් ද මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් බව පැවැසෙයි.

පසුගිය 2020 මාර්තු මාසයේ සිට මෙම 2021 මාර්තු මාසය තෙක්, කොරෝනා වයිරසය ආසාදනය වූවන් සහ සුවය ලැබූවන්ගේ දත්ත සහ වෛද්‍ය වාර්තා අධ්‍යයනය මෙහිදී සිදුවුණු බව ද බොස්ටන් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

ඒ අනුව, වයිරසය ආසාදනය වී සුවය ලැබූ බව පැවැසෙන සෑම තුන්දෙනකුගෙන් එක් කෙනකුම මානසික ආබාධවලටත්, ඉන්ද්‍රියයන් සම්බන්ධ ආබාධවලටත් ලක් වී ඇතැයි අනාවරණය වී තිබේ.

සුවය ලැබූ බොහෝ දෙනාට ඇත්තේ තෙහෙට්ටුවය. එය ප‍්‍රතිශතයක් ලෙස සියයට 53 කි. සියයට 43 කට ශ්වසන අපහසුතා හටගෙන තිබේ.

සියයට 27 ක් හන්දි වේදනාවෙන් ද සියයට 21 ක් පපුවේ වේදනාවෙන් පෙළෙන බව එම අධ්‍යයනයේ සඳහන් වෙයි.

‘කොවිඞ් 19’ වයිරසයෙන් සුවය ලැබූ පුද්ගලයන් මෙසේ රෝගාබාධවලට ගොදුරු වී ඇත්තේ සුවය ලබා දින 60 ක් ගත වෙද්දීය.

පැරිසියේදීය (රොයිටර්)