ගංවතුරින් මියගිය ගණන ඉහළට


ජර්මනියට සහ බෙල්ජියමට බලපා තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා පස්වරුව වනවිට මිය ගිය ගණන 170ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර නිවාස ගණනාවකට හානි සිදු වී ඇත.

ඊට අමතරව මාර්ගවලට ද විදුලිය සහ ජලය ආදී යටිතල පහසුකම් පද්ධතිවලට බරපතළ හානි සිදු වී ඇත.

අඩ සියවසකට පසු ජර්මනියට බලපා ඇති දරුණුම ස්වභාවික ගංවතුර තත්ත්වය මෙය යැයි ද පැවසේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ජර්මනියේ පමණක් මියගොස් ඇති ගණන 143කි. කොලොන් හි දකුණට වන්නට පිහිටි ආර්වයිලර් දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති මරණ ගණන 98කි.

තවමත් සිය ගණනක් අතුරුදන් වී හෝ කිසිදු හෝඩුවාවක් හෝ ප්‍රතිචාරයක් හෝ නැතැයි ද ජර්මානු බලධාරීහු ප්‍රකාශ කළහ.

බොහෝ ස්ථානවල ඉහළ ජල මට්ටම් හේතුවෙන් ගමනාගමනය ඇණහිට ඇති අතර අහිතකර කාලගුණ තත්ත්වය සහ මෙම දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ස්ථාන රැසක සන්නිවේදන කටයුතු අඩපණ වී ඇත.

බෙල්ජියමේ ජාතික ආපදා මධ්‍යස්ථානයට අනුව ගංවතුර තත්ත්වය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ ගණන 27කි.

එම මධ්‍යස්ථානයට අනුව පුද්ගලයන් 103 දෙනකු පිළිබඳ කිසිදු තොරතුරු තවමත් වාර්තා වී නැත.

(රොයිටර්)