ගබ්සාව නවසීලන්තයේ අපරාධ නීතියෙන් ඉවතට


ගබ්සාව අපරාධයක් ලෙස හඳුන්වා දී තිබූ නීතිය ඉවත් කරමින් ගබ්සාව අපරාධමය වරදක් ලෙස නොසැලකෙන නීතියක් නවසීලන්තය සම්මත කරයි.

ගබ්සාව සෞඛ්‍යය හා සම්බන්ධ කාරණයක් ලෙස පමණක් සලකන බවත් එය තවදුරටත් අපරාධයක් ලෙස නොසලකන බවත් එරට අධිකරණ අමාත්‍ය ඇන්ඩෘ ලිට්ල් මහතා පැවසීය.

ඒ අනුව ගැබ් ගැනීමකින් පසු සති 20 ක කාලයක් තුළ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කාන්තාවන්ට ගබ්සාව සඳහා යොමු විය හැකිය.

එසේම ගබ්සාවලට යොමුවන කාන්තාවන් සඳහා උප‍දේශන ලබාදීම ද නව නීතිය අනුව ප්‍රවර්ධනය කර තිබේ.

මීට පෙර පැවති නීතිය අනුව ගර්භණී කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වයට බරපතළ අනතුරක් පවතින අවස්ථාවක පමණක් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය මත ගබ්සාවකට යොමු විය හැකිය. ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති සංශෝදනය කරන ලෙස දශක ගණනාවක් පුරා විවිධ පාර්ශ්ව වලින් ඉල්ලීම් ඉදිරිපත් වුණි.

මෙම නව නීති සංශෝධනය නවසීලන්ත ඉතිහාසයේ තීරණාත්මක මං සලකුණක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
 
 -226- (බීබීසී / ද ගාඩියන් ඇසුරෙනි)