ග්‍රීසියේ දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි


ග්‍රීසියේ සිදුවුණු දුම්රිය අනතුරින් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එරට දුම්රිය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කොස්ටාස් කර්මනාලිස් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

අනතුර සිදුවූයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙනි. අනතුර සිදුවෙද්දී මගී දුම්රියේ 350 කට වැඩි පිරිසක් සිට ඇත. දුම්රිය ගැටුම සිදුවූයේ ලරිස්සා නමැති නගරයට නුදුරිනි. අනතුරින් තුවාල ලැබූ ගණන 66 කි.

දුම්රිය අනතුරට හේතුව, සංඥා දෝෂයක් බවත්, ඊට වගකිවයුතු සියලු දෙනාට දඬුවම් ලබා දෙන බවත් ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිස්ටෝසාකිස් පවසා තිබේ. දුම්රිය අනතුර හේතුවෙන් තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණි.

දුම්රිය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇත්තේ, දුම්රිය අනතුර ගැන තමන් බලවත් සේ කනගාටු වන බවත්, අනතුර සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බවත් පවසමිනි.

(රොයිටර්)