ගැබොන් විපක්ෂ නායකයා අන්තර්වාර ජනාධිපති වෙයි


ජනාධිපතිවරයා බලයෙන් නෙරපා දැමීමෙන් පසු රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාව, එරට හිටපු විපක්ෂ නායක රේමන්ඞ් ඩොන්ග් සීමා අන්තර්වාර ජනාධිපති ලෙස පත් කර තිබේ.

කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත්, එතෙක්, 68 හැවිරිදි රේමන්ඞ් ඩොන්ග් සීමා අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති බවත් හමුදා රජය පවසා ඇත.

ගැබොන් යනු අප්‍රිකා රාජ්‍යයකි. ගැබොන් හමුදාව, රටේ බලය අත්පත් කර ගත්තේ පසුගිය අගෝස්තු 30 වැනිදය. එම අවස්ථාවේ, ධුරයෙන් නෙරපා දැමූ ජනාධිපති අලී බොන්ගෝ නිවාස අඩස්සියට පත් කෙරුණි. මේ වනවිට ඔහු නිවාස අඩස්සියෙන් ඉවත් කර ඇති අතර රටින් පිටවීමට ද හමුදාවේ අවසරය ලැබී ඇත.

නව අන්තර්වාර ජනාධිපති ලෙස හමුදාව විසින් පත් කරනු ලැබූ රේමන්ඞ් ඩොන්ග් සීමා, දැඩි ලෙස අලී බොන්ගෝ විවේචනය කළ අයෙකි. විපක්ෂ නායක ධුරයට පත් වීමට පෙර, අලී බොන්ගෝගේ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ද රේමන්ඞ් ඩොන්ග් සීමා කටයුතු කළ බව පැවැසෙයි.