චීන අත්අඩංගුවේ සිටි කැනේඩියානුවන්ට නිදහස


ඔත්තු බැලීමේ චෝදනා මත, අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කෙරුණු කැනේඩියානු ජාතිකයන් දෙදෙනා වන මයිකල් ස්පේවර් සහ මයිකල් කොවිරිජ් නිදහස් කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

චීන රජය මෙම තීරණය ගෙන ඇත්තේ කැනඩා රජය සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ඇති කර ගැනීමෙන් අනතුරුවය.

චීනය මයිකල් ස්පේවර් සහ මයිකල් කොවිරිජ් අත්අඩංගුවට ගෙන සිරගත කළේ, කැනඩාව ඇමෙරිකාවේ ඉල්ලීම මත 'හුවාවේ' සමාගමේ මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානී මෙන් වන්ෂු වසර දෙකක් රඳවාගෙන සිටීමට ප්‍රතිචාර දක්වමිනි.කැනඩා රජය මෙන් වන්ෂු නිදහස් කළබව ද පැවැසිණි.

ලොව විශාලතම දුරකතන මෙවලම් නිෂ්පාදකයකු වන්නේ චීනයේ හුවාවේ තාක්ෂණ සමාගමය. කැනඩා ආරක්ෂක අංශ මෙන් වන්ෂු අත්අඩංගුවට ගත්තේ 2018 වසරේ දෙසැම්බරයේදීය. ඒ ඇය කැනඩාවට පැමිණි විටය. මෙන් වන්ෂු නිදහස් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත්තේ ඇමෙරිකාව සහ චීනය අතර ඇති වුණු එකඟතාවකට අනුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)