චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට


වසර 10කට පමණ පසු, චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂයට බලා පිටත්ව ගියහ. චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් සිටින අතර, ගගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂය බලා ගියේ එම ඉදිකිරීම් කටයුතු සඳහාය.

ගගනගාමීන් අභ්‍යවකාශය බලා ගියේ ෂෙංන්ෂූ ගගන කැප්සියුලය ආධාරයෙනි. කැප්සියුලට උඩු ගුවනට තල්ලු කිරීම සිදු කළේ ලොංග් මාච් රොකට්ටුවය. පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා වන්නේ නී හෙයිසිං, ලීයු බෝමිං සහ තාංග් හොංග්බෝ ය.

56 හැවිරිදි නී හෙයිසිං, චීන ගුවන් හමුදා නියමුවකු ලෙස සේවය කළ අයෙකි. චීනය, අභ්‍යවකාශයට යැවූ වයස්ගතම තැනැත්තා ලෙස මොහු සැලකෙයි.

ගගනගාමීන් තිදෙනා රැගත් ෂෙංන්ෂූ කැප්සියුලය, වයඹදිග චීනයේ ගංෂූ පළාතේ ජිකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේ එරට වේලාවෙන් උදෑසන 9.22 ටය. කැප්සියුලය, අභ්‍යවකාශයේ රඳවා තිබෙන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ප්‍රධාන කොටස හා සම්බන්ධ වනු ඇත.

චීනය ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ හැඳින්වෙන්නේ 'ටියැංහේ' යන නමිනි. මෙය ඉදි කෙරෙන්නේ එහි ප්‍රධාන කොටස් (මොඩියුල) තුන අවස්ථා තුනකදී උඩු ගුවනට යැවීමෙනි. විශාලතම මෙන්ම ප්‍රධානතම මොඩියුලය පසුගිය අප්‍රේල් මාසයේ දී අභ්‍යවකාශයේ රැඳවීම සිදුවිය. මෙම මොඩියුලය මීටර් 16.6 ක් දිග සිලින්ඩරාකාර කොටසකි. පළල මීටර් 4 කි. ෂෙංන්ෂූ කැප්සියුලය, සම්බන්ධ වෙන්නේ මෙම කොටස සමඟය.

'ටියැංහේ' අභ්‍යවකාශ නැවැතුම්පොළ ලබන 2022 වසරේ සාදා නිම කිරීමට චීනය සූදානම් වෙයි. ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරියේ දී තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 11 ක් සිදුවනු ඇති බවත්, එයින් 4 කට ගගනගාමීන් සහභාගී වනු ඇති බවත් චීන අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

උඩු ගුවනට ගිය ගගනගාමීන් මාස 3 ක කාලයේ මොඩියුලයේ රුඳී සිටිමින් ඉදිකිරීම් කටයුතුවල නියැලෙනු ඇත.

(රොයිටර්)