චීන දරුවෝ පාසල් යති


මාස කිහිපයකට පසු ෂැංහයි සහ බීජිං නගරවල පාසල් අද (27) විවෘත කළ අතර දරුවෝ දහස් ගණනක් පාසල්වලට පැමිණියහ.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ පාසල් මාස කිහිපයක් මුළුල්ලේ වසා දමා තිබිණි. කොරෝනා වයිරසයේ අවදානම පහව යෑමත් දෛනිකව වාර්තා වන මරණ සහ ආසාදිතයන් ගණන අඛණ්ඩව අඩු වීමත් සමඟ චීනයේ ප්‍රධාන නගර මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ.

පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කළ ද පැමිණීමට අවසර ලබා දී ඇත්තේ තෝරාගත් ශ්‍රේණීවලට පමණි. ෂැංහයි නුවර ද්විතීක සහ ඉහළ පාසල්වල අවසන් වසරේ සිසුන්ට ඒ අනුව පාසල් පැමිණීමට අවසර ලැබී ඇති අතර බීජිං නුවර විශ්වවිද්‍යාලවල අවසන් වසරේ සිසුන්ට විශ්වවිද්‍යාලවලට පැමිණීමට අවසර ලබා දී ඇත. මෙසේ අවසර දී ඇත්තේ ද අත්‍යවශ්‍ය සහ වැදගත් විභාගවලට පෙනී සිටීමට සිටින සිසුන්ටය.

චීනය සාර්ථකව කොරෝනා වයිරසය මැඬ පැවැත්වූ බව ප්‍රකාශ කළ ද තවමත් අවදානම් මට්ටම පහළ දමා නැත. විදේශිකයන්ගෙන් කොරෝනා වයිරසයේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් චීනය තවමත් දැඩි පියවර ගනී.

‘ලොක්ඩවුන්’ සීමා පැනවීමෙන් අනතුරුව බොහෝ පාසල්වල ඉගැන්වීම් කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි.

දරුවන් පාසල් පැමිණියද ඔවුන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා අතර බොහෝ දෙනා විෂබීජහරණ භාවිත කළ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. පාසල් දරුවන් පැමිණියේද මුඛ ආවරණ පැළැඳය.

කෙසේ නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පාසල් විවෘත කිරීමට නියමිතව ඇත්තේ මැයි 6 වැනිදාය.

පාසල් විවෘත කළ ද සොඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් චීන අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂිත ක්‍රමවේද අනුගමනය කර ඇත. චීනයේ බීජිං අගනුවර පිහිටි සෑම පාසලකම ගේට්ටුවෙන් දරුවන් ඇතුළත් කරගැනීමට පෙර ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කර බලන අතර දරුවන් ඔවුන්ට ලබා දී ඇති ‘හරිත’ කේතය පෙන්විය යුතුය. හරිත කේතය ඇත්තේ විශේෂිත මෘදුකාංගයක වන අතර ඔවුන්ට වයිරසය ආසාදනය වන්නේ ද නැද්ද යන එමඟින් ගණනය කෙරේ.

ඒ.එෆ්.පී.

055