චීනය සඳ අයිති කරගන්න හදනවා


චීනය ඔවුන්ගේ හමුදා අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ සඳ අයිති කර ගැනීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකා ‘ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය’ හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් චෝදනා නගයි.

නාසා ප්‍රධානියා මෙසේ චෝදනා කළේ ජර්මනියේ ‘බිල්ඩ්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. “චීනය සඳට ගගනගාමීන් යැවීමට සූදානම් වෙන්නේ හමුදා අභ්‍යවකාශ වැඩසටහනක් හරහායි. විද්‍යාත්මක පදනමකින් නොවෙයි. මට විශ්වාසයි ඔවුන් සඳ අයිති කර ගන්නයි හදන්නේ. ඔවුන් සඳ අයිති කර ගත්තොත් අපට (ඇමෙරිකාවට) හෝ වෙනත් රටකට හෝ යළි සඳට යන්න බැරි වේවි” යැයි නාසා ප්‍රධානියා පැහැදිලි කර ඇත.

නාසා ප්‍රධානියාගේ මෙම චෝදනා සම්බන්ධයෙන් චීන රජය වෙනුවෙන් එරට විදේශ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් විරෝධය දක්වා තිබේ. නාසා ප්‍රධානියා කළේ පදනම් විරහිත සහ වගකීම් විරහිතව ප්‍රකාශයක් යැයි චීන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ප්‍රකාශක සහෝ ලිජියැං පවසා ඇත.

චීනය මේ වනවිට පෘථිවි කක්ෂයේ ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් පවතී. කොටසින් කොටස උඩු ගුවනට යවා ඒවා එකලැස් කිරීම ලහිලහියේ සිදුවෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම වසරේ ඉදිකර අවසන් කිරීමට නියමිත අතර, චීනය සඳ තරණය කරනු ඇත්තේ ඉන්පසුවය.

2024 දී ඇමෙරිකාවේ නාසා ආයතනය ද 'ආටිමීස්' නමින් යළි චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ආරම්භ කිරීමට නියමිතය. පළමු වරට කාන්තාවක සඳට යැවීම සිදුවන්නේ ද 'ආර්ටිමීස්' චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඒ අනුව ඉදිරියේ දී සඳ තරණය සඳහා ඇමෙරිකාව සහ චීනය අතරේ තරගයක් පවතිනු ඇත.

(ඒ.එෆ්.පී.)