ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ 'කොප්26' දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව විහිළුවක් බවත්, ලෝක නායකයන් සහ ප්‍රබල ව්‍යාපාරික ප්‍රධානීන් තීන්දු තීරණ ගන්නේ ලෝකයේ යහපත වෙනුවෙන් නොව, ඔවුන්ගේ යහපත සහ වාසිය වෙනුවෙන් පමණක් යැයි යොවුන් පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් චෝදනා කරයි.
18 හැවිරිදි ස්වීඩන පාසල් සිසුවියක වන ග්‍රෙටා, පරිසරය වෙනුවෙන් හඩ නගන ලොව ප්‍රකට යොවුන් පරිසර ක්‍රියාකාරිනියකි. ඇය ග්ලාස්ගෝව් නුවර සමුළුවට පැමිණියේ යොවුන් පරිසර ක්‍රියාකාරීන් දහස් ගණනක් පිරිවරාගෙනය.
'කොප්26' සමුළුව පැවැත්වෙන්නේ කාබන් විමෝචනයත් සමඟ දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම යළි පහළ දැමීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමටය. මෙය මනුෂ්‍ය වර්ගයාට ලැබෙන අවසන් අවස්ථාව යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත.
සමුළුව පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු අතර එහි මුල් දින දෙක වෙන් වී තිබුණේ ලෝක නායකයන් වෙනුවෙනි. ලොව බලවත් සහ ධනවත් රටවල් ද ඇතුළු රටවල් සියයක් ප්‍රතිඥා දුන්නේ, වනාන්තර විනාශය නවත්වන බවය. මීට පෙර ද මේ අයුරින් වන විනාශය නැවැත්වීමට ලෝක නායකයන් ප්‍රතිඥා දී තිබුණ ද මෙවර 'කොප්26' සමුළුවේදී ඊට අවශ්‍ය ලෙස ශක්තිමත් ආකාරයට ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදුවිය.
රටවල් 120 ක රාජ්‍ය නායකයෝ ග්ලාස්ගෝව් සමුළුවට සහභාගී වූහ. රුසියන් සහ චීන ජනාධිපති සමුළුවට නොපැමිණි නමුත් ඔවුන් නියෝජිතයන් කණ්ඩායම් සමුළුවට එවා තිබුණි. ඊට අමතරව චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමැතූහ.
මීතේන් වායු ගෝලයට මුදා හැරීම, 2030 වසර වෙද්දී සියයට 30 කින් අඩු කිරීමට රටවල් බොහොමයක් කැමැත්ත පළ කළේය. දැනට ලොව මීතේන් වායු වැඩියෙන් වායු ගෝලය මුදා හරින රටවල් 3 වන්නේ ඉන්දියාව, චීනය සහ රුසියාව වන අතර, මෙම රටවල් එම එකඟතාවට කැමැත්ත දැක්වූයේ නැත.
ගල් අඟුරු භාවිතය මුළුමනින්ම නැවැත්වීමට රටවල් 40 ක් කැමැත්ත පළ කළේය.
ගෝලීය උණුසුම ඉහළ යමින්, කාලගුණ විපර්යාස ඇති වීමට ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකෙන්නේ පොසිල ඉන්ධනයක් වන ගල් අගුරු භාවිතයයි. ගල් අඟුරු වැඩියෙන් භාවිතයට ගන්නා රටවල් වන චීනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම එකඟතාවට අත්සන් නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.ඒෆ්.පී.)