ජගත් පරීක්ෂකයෝ යුක්රේනයට


යුක්රේන ආක්‍රමණයත් සමඟ රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ.

එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශනයක් සඳහා පිටත් කළ  වැඩිම නියෝජිතයන් පිරිස මෙය යැයි ද පැවැසෙයි. විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝජනය කරන නීතීඥ කරීම් ඛාන් ය.

“රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පෙබරවාරි 24 වැනිදායි. ආක්‍රමණය ආරම්භ වූ පළමු දිනයේ පටන් රුසියන් හමුදා කළ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්රේන හමුදාව සහ රජය අපට පැමිණිලි කර තිබෙනවා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ලෝකයා දැන ගැනීම වැදගත්. පෙබරවාරි 24 වැනිදායින් පසු මුළු යුක්රේනයම අපරාධයක් සිදුවුණු ස්ථානයක් ලෙස අප සලකනවා. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශනයක් සිදු කරනවා. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, ඔහුගේ හමුදා ප්‍රධානීන්ට, බුද්ධි අංශ ප්‍රධානීන්ට එම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිදුවෙන්න පුළුවන්” යැයි කරීම් ඛාන් යුක්රේනයේ කීව් අගනුවරදී මාධ්‍යවේදීන් අමතමින් පැහැදිලි කළේය.

විමර්ශන කණ්ඩායම යුද අපරාධ සිදුවුණු බව පැවැසෙන නගර වෙත යෑමටත්, සිවිල් වැසියන් සහ සොල්දාදුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමත් සිදු කරනු ඇතැයි පැවැසෙයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ හේග් නුවරය. විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට පැමිණි විමර්ශකයන් වැඩි දෙනා නෙදර්ලන්ත ජාතිකයන්ය. ඒ සම්බන්ධයෙන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙදර්ලන්ත රජයට ස්තුති කර තිබේ. ඊට අමතරව ප්‍රශංයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් ද විමර්ශන කණ්ඩායමට එක් වී සිටී.

(රොයිටර්)