ජනපති පුටින් බලන්න පුංචි අමුත්තියක් ඇවිල්ලා


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවෙන් අට හැවිරිදි දැරියක ක්‍රෙම්ලීනයට පැමිණියාය. මල් කලඹක් දී ඇය පිළිගනිමින්, ඇය වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට පුටින් අමතක නොකළේය.

රයිසාත් අකිපෝවා නමැති මෙම දැරිය ක්‍රෙම්ලීනයට ගෙන්වා ගැනීම සිදුවූයේ විශේෂිත හේතුවක් ඇතිවය. මෙම දැරිය ජීවත් වන්නේ රුසියාවේ දකුණු දෙසින් පිහිටි ඩැගෙස්තාන් නමැති දැරියගේ ඩැගෙස්තාන් කුඩා ප්‍රාන්තයේය. ඩැගෙස්තාන් ප්‍රාන්තයේ සංවර්ධන කටයුතුවලට වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවන බව ප්‍රාන්ත බලධාරීන් රුසියන් ජනාධිපතිවරයාට සෘජුව දැනුම් දී ඇත.

ඩැගෙස්තාන් ප්‍රාන්තයේ නියෝජිතයකු වශයෙන් දැරිය ක්‍රෙම්ලීනයට ගෙන්වා ගැනීම සිදුවිය. දැරිය හමුවී කතාබහ කිරීමෙන් පසු දැරිය සමඟ එක්වී, පුටින් රුසියන් මුදල් ඇමැති ඇන්තොන් සිලුනෝව්ට ඇමතුමක් ගත්තේය. ඉන්පසු දැරියගේ උපන පළාත වෙනුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කළ හැකි ක්‍රමය ගැන සාකච්ඡා කළේය.

දැරිය සමඟ කතාබහ කිරීමෙන් පසු එසැණින්, අමතර මුදල් ප්‍රතිපාදය ඩැගෙස්තාන් ප්‍රාන්තයට ලබා දීමට මුදල් අමාත්‍යවරයා එකඟ විය. බටහිර මාධ්‍ය මෙම පුවත වාර්තා කළේ, ‘වැග්නර්’ කුලි හේවායන්ගේ කුමන්ත්‍රණයෙන් පසු රුසියන් වැසියන්ගේ හොඳ හිත යළි වර්ධනය කර ගැනීමේ අරමුණින්, පුටින් කළ ‘මාධ්‍ය සංදර්ශනයක්’ බවය.