ජනාධිපති රෝහල්ගතව සිටියදී ඇල්ජීරියාවේ ඡන්දය ඇරඹෙයි


ඇල්ජීරියාවේ ජනමත විචාරණය අද (01) ආරම්භ විය. මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ එරට ජනාධිපති අබ්දෙල්මජීඩ් ටෙබ්බෝන් ජර්මනියේ රෝහල්ගතව සිටියදී ය.

තමාගේ පුද්ගලික සහායකයින් කිහිපදෙනකුට කොරෝනා ආසාදනයවූ බව පවසමින් මීට සතියකට පමණ පෙර සිට ටෙබ්බෝන් මහතා රෝහල්ගතව සිටියි.

ජනපති ටෙබ්බෝන් සහ ඔහුගේ බලවත් හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධව ජනතාව තුළ ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් ජනමතවිචාරණයක් පැවැත්වීමට තීරණය විය.

මෙම ජනමතවිචාරණය ටෙබ්බෝන්ට මෙන්ම විපක්ෂයේ "හිරාක්" විරෝධතා ව්‍යාපාරයට ද තම ශක්තිය පෙන්වීම සඳහා අවස්ථාවක් බව විචාරකයෝ පවසති. හිරාක් විරෝධතාකරුවන් සම්පූර්ණ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණ කළ අතර ඡන්දය ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවුවද කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග මධ්‍යයේ  මැතිවරණය පවත්වනු ලැබූ අතර පෙරවරුවේ ඡන්ද ප්‍රකාශ කිරීමට එතරම් උනන්දුවක් නොතිබිණි.

ජනාධිපතිවරයා රෝහල්ගතවීම, ඔහුගේ ජනප්‍රියත්වය ඉහල දැමීම සඳහා උපායමාර්ගයක් බව බොහෝදෙනාගේ මතයයි.

රොයිටර් පුවත් ඇසුරිණි

085