ජර්මනිය රුසියාවෙන් ගෑස් මිලදී ගන්න යයි


ජර්මනියේ විශාලතම බලශක්ති සමාගමක් වන යුනිපර් සමාගම යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංගණය නොවන අයුරින් නව ගෙවීම් පද්ධතියක් මගින් රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

කෙසේ නමුත් මෙය යුරෝපා සංගමය මගින් පනවා ඇති සම්බාධක නොසලකා හැරීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

තම රටින් මිලදී ගන්නා සියලු නිෂ්පාදන සඳහා රුසියානු මුදල් ඒකකය වන රූබල් මගින් ගෙවීම් සිදු කළ යුතු බව පසුගියදා  ක්‍රෙම්ලිනය නිවේදනය කළේය.

මෙම ගෙවීම් පද්ධතිය මගින් යුනිපර් සමාගම යුරෝපයේ  නිල මුදල් ඒකකය වන යුරෝ මගින් ගෙවීම් සිදු කරන අතර එය රූබල් මුදල් ඒකකයට පරිවර්තනය වී රුසියානු සමාගම් වෙත ලැබෙනු  ඇත. අනෙකුත් යුරෝපා බලශක්ති සමාගම් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සුදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

“අපට වෙන කරන්න දෙයක් නෑ,අපි ගෙවීම් සිදුකරන්නේ යුරෝ වලින් ගෙවීම් පද්ධතිය ඇතුළෙදි තමයි රූබල් වලට පරිවර්තනය වෙන්නේ ඒ හින්දා අපි හිතනවා මෙය යුරෝපා සංගමය පැනවූ සම්බාධක උල්ලංගණය කිරීමක් නොවේ” යැයි යුනිපර් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

“අපි සමාගමක් වශයෙනුත් ජර්මනිය රටක් වශයෙනුත් කෙටි කලකින් රුසියානු ගෑස් අත් හැරීම සිදු කළ නොහැකියි.එසේ සිදු කළොත් අපේ ආර්ථිකයට බරපතළ පහරක් එල්ල වේවි”. යැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

(රොයිටර්)