ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් තවමත් වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 209,000 අධික පිරිසකට මේ වනවිට ජීවිත අහිමි වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කොරෝනා වයිරසය පාලනය කිරීමට ප්‍රමුඛත්වය නොදෙන බවත් ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ සිය දේශපාලන වුවමනාවලට පමණක් බවත් ඔවුහු චෝදනා කරති.
ඇමෙරිකාවේ තුළ නව කොරෝනා වයිරසය පාලනය කරගැනීමට නොහැකි වූයේ ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නිසා යැයි බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මෙම චෝදනා අලුත් වූයේ ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (5) රෝහලෙන් පිටතට පැමිණීමත් සමඟ ය.
ඔහු සිය මෝටර් රථයෙන් රෝහලෙන් පිටතට පැමිණි අතර ඒ අවට රැස්ව සිටි සිය ආධාරකරුවන්ට අත වැනීය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව විරුද්ධවාදීන්ගේ දැඩි විරෝධයට හේතුවිය. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව භයානක දේශපාලන ක්‍රියාවක් යැයි ඔවූහු චෝදනා කළහ.
‘‘ජනාධිපති ට්‍රම්ප් පොඩි වෙලාවකට මෝටර් රථයකින් රෝහලෙන් පිටතට ගියා. ඔහු රෝහලෙන් පිටත සිටි සිය ආධාරකරුවන්ට අත වැනුවා. දැන් නැවත ඔහු රෝහලට පැමිණියා’’ යැයි ධවල මන්දිරයේ ප්‍රකාශක ජඩ් ඩියර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ‘‘සියලු ආරක්ෂිත පියවර ගත්තා’’ යැයි ද එම නිවේදනයේ දැක්විණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා (1) රාත්‍රියේදී ය. ඉන් අනතුරුව ට්‍රම්ප් සිකුරාදා (2) පස්වරුවේ වොෂින්ටන් නුවර ආසන්නයේ පිහිටි හමුදා රෝහලක් වන ‘වෝල්ටර් රීඩ්’ හෝටලයට ඇතුළත් කළේය.
හැත්තෑ හතර (74) වැනි වියේ පසුවන ජනාධිපති ට්‍රම්ප්ට ඔක්සිජන් ලබාදුන් අත්හදා බැලීම් මට්ටමේ තිබෙන ප්‍රතිකාර ද කර ඇතැයි වාර්තා වේ. නව කොරෝනා වයිරසය සඳහා මේ වනවිට පරීක්ෂණ හා අත්හදා බැලීම් මට්ටමේ පවතින ඖෂධ සාමාන්‍යයෙන් ලබාදෙන්නේ බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට ය.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් රෝහලේ සිය අත්දැකීම් සඳහන් කරමින් මේ වනවිට විඩියෝ සහ ඡායාරූප සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.
‘‘පාරේ ඉන්නේ අපේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමීන්ට අපෙන් පුංචි පුදුමයක්’’ යැයි සිය අවසන් විඩියෝ පටය නිකුත් කරමින් ට්‍රම්ප් කීය. මෝටර් රථයෙන් රෝහලෙන් පිටතට ගොස් පැමිණීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව කීය.
‘‘මේක දේශපාලන රංගනයක්’’ යැයි තවත් බොහෝ අය මෙන් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව විවේචනය කළ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු වන වෛද්‍ය ජේම්ස් ෆිලිප්ස් පැවැසීය.
ඒ.එෆ්.පී./රොයිටර්
055