ට්‍රම්ප් තමන් ගැන අධි තක්සේරුවක


මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ වංචා සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

එළැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් නියත වශයෙන් ජයගන්නා බවත් තමන් පරාජය කළ හැකි එකම ක්‍රමවේදය මැතිවරණයේදී වංචා කිරීම පමණක් බවත් ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ මහ සමුළුව ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ජනපදයේ චාලට්විල් නුවරදී ඊයේ (24) ආරම්භ විය. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමද මෙහිදි සිදුවිය. ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම සමුළුවේදී රිපබ්ලිකන් පක්ෂයේ නිල අනුමැතිය හිමිවිය. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගතහොත් එය ඔහුගේ දෙවැනි සහ අවසාන ධුර කාලය වනු ඇත.

‘‘මේ ජනාධිපතිවරණයේදී අප පරාජය කළ හැකි එකම ක්‍රමවේදය වංචා කිරීම පමණයි. අපි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා’’ යැයි රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව අමතමින් ජනාධිපති ට්‍රම්ප් කීය.

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 74 වැනි වියේ පසුවන අතර ජෝ බයිඩන් 77 වැනි වියේ පසුවෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කළහොත් ඔහු ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තේරී පත්වූ වයස්ගතම පුද්ගලයා බවට පත්වනු ඇත.

ජෝ බයිඩන්, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයද හෙබවීය.

ඩිමොක්‍රටික් පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කරමින් සහ ‘කොවිඩ්-19’ වයිරස වසංගතය භාවිත කරමින් වංචා කිරීමට උත්සාහ කරන බව ද ට්‍රම්ප් මෙහිදි චෝදනා කළේය.

රොයිටර්

055