ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ගැන පරස්පර ප්‍රකාශ


 

ඉදිරි පැය 24 ඉතා තීරණාත්මක යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස් පවසයි.
 

‘‘ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඔහුට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඊටත් වඩා තීරණාත්මකයි. අපි දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. ජනාධිපතිවරයා තවමත් පූර්ණ සුවය ලබන තත්ත්වයට හැරිලා නැහැ’’ යැයි හෙතෙම කීය.
 

ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බවට ධවල මන්දිරයේ වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
 

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර ප්‍රකාශ ඉදිරිපත් වෙමින් තිබෙන විදෙස් මාධ්‍ය අද (4) වාර්තා කළේය.
 

මේ තත්ත්වය මධ්‍යයේ සෙනසුරාදා, එනම් ඊයේ (3) පස්වරුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කළේය.
 

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයක හොඳ මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපතිවරයා එහි කීවේය. කෙසේ නමුත් ඔහු විඩාබර ස්වරූපයක් පෙන්නුම් කළ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.
 

‘‘ඉදිරි දින කිහිපය ඉතා වැදගත්. සැබෑ පරීක්ෂණය තිබෙන්නේ ඉදිරි දින කිහිපයේ යැයි මම හිතනවා. ඒ නිසා ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා’’ යැයි ට්‍රම්ප් කැමරාව දෙස බලමින් කීවේය.

කෙසේ නමුත් මාර්ක් මෙඩෝව්ස් මුලින් කළ ප්‍රකාශයට වෙනස් ප්‍රකාශයක් කරමින් ජනාධිපති ට්‍රම්ප් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ජනාධිපතිවරයා සුව අතට හැරෙමින් සිටින බවත් හෙතෙම කීවේය.
 

‘‘ජනාධිපතිවරයාගේ තත්ත්වය තවමත් සුව අතට හැරී නැහැ. එහෙත් අපේ කණ්ඩායම සුබවාදී වගේම විමසිල්ලෙන් පසුවෙනවා’’ යැයි ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය සහ ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන ෂොන් කොන්ලේ ඊයේ (3) පස්වරුවේ පැවැසීය.

රොයිටර්

055