තලේබාන් නායකයන් අතරේ මත ගැටුම්


තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් සහ සෙසු තලේබාන් නායකයන් අතරේ මත ගැටුම් ආරම්භ වී ඇති බවත්, එම මත ගැටුම් තලේබාන්වරුන් පිහිටුවූ නව අන්තර්වාර රජය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් යනු තලේබාන් සංවිධානය පිහිටුවීමට පුරෝගාමී වූ දෙවැනියාය. තලේබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පිහිටුවා ඇති රජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකු ලෙස කටයුතු කරන්නේ ද මොහුය. දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහා ඇමෙරිකාව සමඟ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම කළේ ද  මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ය.

මත ගැටුමට මුල් වී ඇත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස එම ධුරයට පත් කෙරුණු සිරාජුදීන් හක්කානී සහ හක්කානීට සහාය දක්වන තලේබාන් සාමාජිකයන් අතරේය.
සිරාජුදීන් හක්කානී යනු ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ක්‍රියාත්මක වන 'හක්කානී ජාලයේ' නායකයාය. හක්කානී ජාලය ත්‍රස්ත ජාලයක් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සලකයි. තලේබාන් සටන්කාමීන්ට පමණක් නොව ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්.කේ. ත්‍රස්තවාදීන්ට ද ආයුධ ලබා දෙන්නේත් මූදල් ලබා දෙන්නේත් මෙම ජලයයි.

තලේබාන් නව අන්තර්වාර රජයට සිරාජුදීන් හක්කානී සම්බන්ධ කර ගැනීම මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් තදින් විරෝධය දක්වා ඇත. කාබුල් ජනාධිපති මන්දිරයේ බහින්බස් වීමක් සිදුවුණු බවත්, එහිදී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ට වෙඩි තැබූ බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ නමුත් තලේබාන් සංවිධානය පමණක් නොව, මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ද මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් යහතින් සිටින බවය.

(රොයිටර්)