ඇෆ්ගන් තලේබාන් සංවිධානය පිහිටුවූ මුල්ලා ඕමාර්ගේ පුතු මොහොමද් යාකුබ් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, තලේබාන් සංවිධානය නිකුත් කළ වීඩියෝ පණිවුඩයකිනි.
එම වීඩියෝ පණිවුඩය හරහා මොහොමද් යාකුබ් ඇෆ්ගන් එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජන කිරීමට පෙළඹෙන්නැයි කියාය.
ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට හසුවී මේ වනවිට මාස දෙකක් ගත වී තිබේ.
ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් අනතුරුව එරට අන්තර්වාර රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටුයුතු කරන්නේ ද මොහොමද් යාකුබ් ය. විදෙස් හමුසදා පිටවී යෑමත් සමඟ විදෙස් ආධාර සහ ආයෝජන ද සියල්ල නැවැතී යෑමෙන් තලේබාන්වරුන් පිහිටුවූ රජය දැඩි අසීරුතාවලට මුහුණ දෙයි. ඇෆ්ගන් වැසියන් සාගතයක් අබියස සිටින බව ද පැවැසෙයි.
තලේබාන් සංවිධානය පිහිටුවූ සහ එහි පළමු නායකයා ද වූ මුල්ලා ඕමාර් ඇසක් අහිමි බිහිසුණු ත්‍රස්තවාදියෙකි. ඇෆ්ගනිස්තානයේ බාහියම් බුදු පිළිම ඩයිනමයිට් යොදා පුපුරුවා විනාශ කළේ ද මොහුය. ඇමෙරිකන් හමුදා කළ ප්‍රහාරයකින් මුල්ලා ඕමාර් මියගියේ 2013 වසරේදීය. මුල්ලා ඕමාර් මෙන්ම ඔහුගේ පුත්‍රයා මොහොමද් යාකුබ් ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා සමඟ සටන් වැදුණු ම්ලේච්ඡ ත්‍රස්තයෙකි. මොහොමද් යාකුබ් මීට පෙර වීඩියෝ පණිවුඩ නිකුත් කළේ සැඟවී සිට, ඇමෙරිකන් හමුදාවට තර්ජනය කරමින් යැයි ද විදෙස් මාධ්‍ය සිහිපත් කරයි.
(ඒ.එෆ්.පී.)