තලේබාන් සටන්කරුවන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්


ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන්ට එරෙහිව ඇමරිකානු හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තලේබාන් කණ්ඩායමේ නායකයන් සමඟ සුභවාදී සාකච්ඡාවක් පැවත්වා පැය කිහිපයක් ගතවූ පසුවය.

වසර ගණනාවක යුද්ධයෙන් පසු ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒම අරමුණින් ඇමරිකාව සෙනසුරාදා (29) තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

හැමන්ඩ් පළාතේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට පහර දුන් තලේබාන් සටන්කරුවන්ට ප්‍රතිචාර වශයෙන් අද(04) ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව එක්සත් ජනපද හමුදා ප්‍රකාශකයෙක් පැවසීය. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තලේබාන් සංවිධානය අගහරුවාදා  හැමන්ඩ් හි ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට අයත් මුරපොලවල් වෙත ප්‍රහාර 43 ක් දියත් කළ බවයි.

කෙසේවුවද මේ සම්බන්ධව තලේබාන් සංවිධානය අදහස් දක්වා නොමැති අතර මෙතෙක් කිසිඳු ප්‍රහාරයක වගකීම තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකර නොමැත.

ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ තමන් තවමත් සාමය සඳහා කැපවී සිටින නමුත් ඇෆ්ගනිස්ථාන හවුල්කරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් ද තමන්ට ඇති බවයි. 

    "අපි තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ අප පෙන්නුම් කර ඇති පරිදි, අනවශ්‍ය ප්‍රහාර නතර කර ඔවුන්ගේ කැපවීම් තහවුරු කරන ලෙසයි. අප අවශ්‍ය විටෙක අපගේ හවුල්කරුවන් ආරක්ෂා කරන්නෙමු" යනුවෙන් ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙකු වන කර්නල් සොනී ලෙගට් පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)