තවත් බිහිසුණු විකෘතියක් ’කොවිඩ් 19 සී.1.2’


'ඩෙල්ටා', 'ලැම්බ්ඩා' වැනි විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, එන්නත්වලින් පවා අඩපණ කළ නොහැකි නව 'කොවිඩ් 19' වයිරස විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව වයිරස විකෘතිය නම් කර ඇත්තේ 'කොවිඩ් 19 සී.1.2' ලෙසය.

'සී.1.2' විකෘතිය පළමු වරට හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. ඒ, පසුගිය මැයි මාසයේය. 'සී.1.2' දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේද මුසුවීමෙන් නිර්මාණය වුණු නව විකෘතියක් බව පැවැසෙයි.

ඒ අනුව, 'සී.1.2' විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකානු වෛද්‍ය පර්යේෂකයන්ය.
දකුණු අප්‍රිකාවේ බෝ නොවන රෝග පිළිබඳ ජාතික ආයතනය සහ 'ක්වාසූලු නාටා' වයිරසවේදය පිළිබඳ පර්යේෂණ ආයතනය එක් වී එම අධ්‍යයනය සිදු කර ඇති අතර, ඒ සම්බන්ධ සියලු තොරතුරු සහ දත්ත ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර තිබේ.

'සී.1.2' විකෘතිය බිහිසුණු බවත්, ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, විමසිල්ලෙන් පසුවිය යුතු වයිරස විකෘතියක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඒ අනුවය‍.

දකුණු අප්‍රිකා පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, 'සී.1.2' වයිරස විකෘතිය එන්නත්වලට ප්‍රතිචාර නොදක්වනවා ද යන්න සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයන සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එම අධ්‍යයන මේ වනවිටත් ආරම්භ වී තිබේ.

පසුගිය අගෝස්තු 13 වැනිදා වනවිට, 'සී.1.2' විකෘතිය චීනය, කොංගෝ, මුරුසි දූපත, එංගලන්තය, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය ආදී රටවලින් හමුවුණු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.

(එන්.ඩී.ටීවී.)