ත්‍රස්ත ප්‍රහාරයක් සැලැසුම් කළ තරුණයෙක් කොටු වෙයි


නිව්යෝක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ, කැනඩාවේ වාසය කරන, අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමඟ හිතවත්කම් පවත්වන පාකිස්තාන ජාතික 20 හැවිරිදි තරුණයකු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත් විය.

මුහම්මඩ් ඛාන් නමැති මෙම තරුණයාගේ සැලසුම වී තිබුණේ නිව්යෝක් හි බෲක්ලින් පළාතේ, යුදෙව් ජාතිකයන් ඉලක්ක කරමින් සමූහ වෙඩි තැබීමක් සිදු කිරීමය. යුදෙව්වන් වැඩි වශයෙන් ජීවත් වන්නේ මෙම බෲක්ලින් පළාතේය. ප්‍රහාරයේ අරමුණ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම පලස්තීනයට පහර දෙද්දී පල්සීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය දැක්වීම යැයි ද පැවැසෙයි.

මුහම්මඩ් ඛාන් නිව්යෝක් යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදු කිරීමට සැලැසුම් කර ඇත්තේ ඔක්තෝබර් 7 වැනිදාය.

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වූයේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළු වී කළ ප්‍රහාරයත් සමඟය.  මෙම 2024 ඔක්තෝබර් 7 වැනිදාට එම ගැටුම් ආරම්භ වී වසරක් සපිරේ.