තායිලන්තය විදේශිකයන්ට ඇතුළුවීමේ දී පනවා තිබූ නීති දැඩි කරයි


තායිලන්තයේ දෙවන ආසාදිත රැල්ලක් පිළිබඳව බිය ඇතිවීම හේතුවෙන් විදේශිකයන්ට රට තුළට ඇතුළුවීමේ දී පනවා තිබූ නීති දැඩි කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනකුගෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවී තිබීම මෙම පියවර ගැනීමට හේතුව වී තිබේ.

නිරෝධායනය අවසන් කළ දෙදෙනෙකුට මෙලෙස රෝගය වැළඳී ඇත.

පසුගිය දින 50 තුළ දේශීයව රෝගය සම්ප්‍රේෂණය වීමක් දක්නට නොලැබුණ නමුත් නව සිදුවීම් දෙකක් හේතුවෙන් 400 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ.

වයිරසය ශරීරගතවූවන් සොයා සිදුකරන පරීක්ෂණ වේගවත් කර ඇති අතර ව්‍යාපාරිකයන්ගේ සහ රාජ්‍ය අමුත්තන්ගේ කෙටිකාලීන සංචාරයන් අත්හිටුවා ඇත.

මීට පෙර තම නිවෙස් වල ස්වයං නිරෝධායනය වීමට ඉඩ දී තිබූ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ පවුලේ අයට නව නීති අනුව රජයේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වීමට සිදුව තිබේ.

මේ දක්වා තායිලන්තයේ කොරෝනා ආසාදිතයන් 3,227ක් වාර්තා වී ඇති අතර මරණ 58 ක් සිදුවී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)