තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා ඇති කරගැනීම සහ සහයෝගීතාව ඇති කරගැනීම ට යුරෝපා සංගමය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබේ.
“තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා සහ සහයෝගීතාව” යන මැයෙන් යුරෝපා සංගමය වාර්තාවක් එළිදක්වා ඇති අතර චීනය එයට සිය දැඩි විරෝධය පළ කර තිබේ. ඊට අමතරව එමඟින් චීනයේ “එක්-චීනයක් ප්‍රතිපත්තිය” උල්ලංඝනය වන බව ද චීනය චෝදනා කර ඇත.
මෙමඟින් නිල නොවන සහ ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව මෙන්ම සංස්කෘතික හුවමාරු ඉක්මවා යන බවත් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් තායිවානය සමඟ සීමාව ඉක්මවා යමින් සම්බන්ධතා පවත්වන බවටත් චීනය චෝදනා කර ඇත. එසේම මෙම සම්බන්ධතා හේතුවෙන් චීනය සහ යුරෝපා සංගමය අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවට ද බාධා එල්ල වන බව චීනය සඳහන් කර ඇත.
මේ නිසා මෙම වාර්තාවටත් යුරෝපා සංගමයේ මෙම ක්‍රියාමාර්ග සහ පියවරවලටත් චීනය සිය දැඩි විරෝධය පළ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන දූත මණ්ඩලයේ ප්‍රකාශක පැවැසීය.
තායිවානය කරුණ සම්බන්ධයෙන් ඇති සංවේදීතාව කෙරෙහි අවධානයෙන්, අවබෝධයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ද හෙතෙම යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට අවධාරණය කළේ ය.
තායිවානය සමඟ සමීප සම්බන්ධතා ආරම්භ කරන්නැයි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් යුරෝපා සංගමයට අවධාරණය කර තිබිණි. ඒ අනුව අදාළ වාර්තාව සකසා තිබෙන අතර තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා ආරම්භ කිරීම සහ සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමු වී තිබේ.
තායිවාන සමුද්‍ර සන්ධිය ඇති වන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් මේ අතරවාරයේ දී අනතුරු අඟවා ඇත.
(ඒ.එන්.අයි.)