තුර්කියේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන්


භූමි කම්පාවලින් වැඩි වශයෙන් හානි වුණු පළාත් දෙකක හැර සෙසු පළාත්වල දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බව තුර්කිය පවසයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන්නේ, Kahramanmaras සහ Hatay යන පළාත්වල යැයි තුර්කි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. භූමි කම්පාවලින් මහා විනාශයක් සිදුවූයේ මෙම පළාත්වලටය.

තුර්කියට ගොස් සිටින විදෙස් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය ආධාරකරුවන් මේ වනවිට මෙම පළාත් දෙක කෙරහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවැසෙයි.

භූමි කම්පා හටගත්තේ පසුගිය පෙබරවාරි 6 සහ 7 වැනිදාය. අසල්වැසි සිරියාවට ද ඒවායින් හානි සිදුවිය.

අද (20) වනවිට තුර්කියේ සහ සිරියාවේ භූමි කම්පාවෙන් මියගිය ගණන 44,377 ක් වූ බව වාර්තා විය.

(රොයිටර්)