දිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිලෙයි


ඉන්දියාවේ දිල්ලි නගරයේ ජහන්ගීර්පූරි ප්‍රදේශයේ පසුගිය දා පැවැත්වුණු ‘හනුමාන් ජයන්ති’ හින්දු ආගමික උත්සවය අතරතුර හින්දු මුස්ලිම් ගැටුමක් හටගත් අතර, එය මේ වනවිට ඔඩුදිවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා (16)  සවස 6 ට පමණ ජහන්ගීර්පූරි ප්‍රදේශයේ පැවති එම උත්සවය අතරතුර එම උත්සවයට ගල් ප්‍රහාරයක් එල්ල වීනේ දෙපිරිස අතර ගැටුම හටගත්තේය. ගැටුම් උත්සන්න වෙද්දී, කලහකාරී පිරිස් වාහනවලට ගිනි තබන්න වූ බව මාධ්‍ය වාර්තා කළේය. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතා කුපිත කිරීම් සිදුවුණු බවට පොලිසිය චෝදනා නගයි.

වාර්ෂිකව පැවැත්වෙන ‘හනුමාන් ජයන්ති’ උත්සවයේ පෙරහර  කුශාල් සිනමා ශාලාව ආසන්නයට පැමිණෙත්ම දෙපාර්ශවයක්  අතර ගැටුමක් ආරම්භ වී ඇති අතර එහිදී ගල් ගැසීම්ද සිදුව ඇති බව දිල්ලි පොලිසිය පවසා තිබේ.
ගල් ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ගැටුම හේතුවෙන් 9 දෙනකු තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් 8 දෙනකු සහ එක් සිවිල් වැසියකු ඒ අතර සිටි බව ඉන්දීය මාධ්‍ය එම අවස්ථාවේදී වාර්තා කළේය.

(එන්.ඩී.ටීවී)